Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 17, 2015

වරණ විපර්යාසය

වරණ විපර්යාසය පිළිබඳව අපට මුලින්ම කියා දුන්නේ පාසලේ චිත්‍ර පාඩමේදිය.තද වර්ණ දෙකක එකතුවෙන් ලා වර්ණ සැදෙන බව එහිදී කියා දුන්නා මතකය.එහිදී මුල් වර්ණ දෙකේ පවතින අනන්‍යතාවය අහෝසි  වී යන බව අපි හැදෑරුවෙමු.එනම් වර්ණ විපර්යාසයකින් ගොඩ නැගෙනුයේ අලුත් වරණයකි.එයට මූලික වරණයක මෙන්ම අනන්‍යතාවයක් නොතිබීමට පුළුවන.මුල් වර්ණයේ අනන්‍යතාවය එලෙසින්ම පැවතීමට නම් ඒවා එකතු නොවී පැවතිය යුතුය.



ඊලග වර්ණ විපර්යාසය පිලිබඳ අසන්නට ලැබුනේ රසායන විද්‍යාව විෂයෙනි.රසායනාගාර පරීක්ෂණවලදී ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරද්දී අපි වරණ විපර්යාසය නිරීක්ෂණ කළෙමු.වර්ණ විපර්යාස ඇසුරෙන් රසායනික ක්‍රියාවලිය හදුනා ගත්තෙමු.විවිධ රසායනික සංයෝග එකතු වී ඒවා ප්‍රතික්‍රියා කර විවිධ වරණ වල අවක්ෂේප හදුනා ගත්තෙමු.පරීක්ෂණ නල තුල සිදුවන වර්ණ විපර්යාස පිලිබදව නිරීක්ෂණය කළෙමු.ඒවායේ කිසියම් විද්‍යාත්මක පදනමක් ඇතිබව හදුනා ගත්තෙමු.



එහෙත් නුතනයේ දේශපාලනික ක්‍ෂේත්‍රයේද විවිධ ආකාරයේ ප්‍රතික්‍රියා සිදුවෙමින් තිබේ.ඒ තුල විවිධ වරණ විපර්යාස සිදුවෙමින්ද තිබේ.නමුත් ඒවා පෙරකී පරීක්ෂණ මෙන් තර්කානුකුල බවක් හදුනා ගත නොහැක.එහෙත් මේ වර්ණ විපර්යාස සමාජය උඩු යටිකුරු කරන්නට සමත් වී තිබේ.ඒ තුල හුදෙකලා මිනිසුන් අන්ද මන්ද කරවා තිබේ.


දේශපාලනයේ පක්ෂ පාට මාරුවීම් සිදුවෙමින් තිබේ.ජන සමාජයට විහිළු සපයමින් කිසිදු හිරිකිතකින් තොරව සිදුවන පිල් මාරු කිරීම් ඒ වර්ණ විපර්යාසයට උදාහරණය.නිල්,කොළ,රතු,රෝස විවිධ වරණ වලින් යුත් දේශපාලකයෝ භේදයකින් තොරව පක්ෂ මාරු කරති.ඒවා සාධාරණිකරණය සදහා ඔව්හු විවධ තර්ක ඉදිරිපත් කරති.වරෙක නිල් කොළ මිශ්‍රවේ.තවත් වරෙක නිල් රතු මිශ්‍රවේ.තවත් තැනක කොළ රතු මිශ්‍රවේ.වර්තමානයේ දක්නට ලැබෙන ලැබෙනුයේ නිල්,රතු,කොළ,රෝස මිශ්‍රණයකි.ඉන් ගොඩ නැගෙනුයේ කවරනම් අනන්‍යතාවයක්දැයි ගැටලුවකි.



ධනපති දේශපාලන පක්ෂ වලට ප්‍රජාතාන්තික පක්ෂවලට සමාජවාදී පක්ෂවලට පැවතියේ වෙන වෙනම වූ අනන්‍යතාවයකි.ඒවා එකිනෙක සමමිශ්‍රණය විය හැකිදැයි යන්න ගැටලුවකි.ඒවා එකට  එක භාජනයක බහාලිය හැකිනම් වෙන වෙනම දේශපාලන පක්ෂ පැවතීමේ අවශ්‍යතායක් වෙද්දැයි ගැටලුවකි.
මේ නිසා අද අපට ඇත්තේ දේශපාලන සුජාත බව අහිමි වූ නිර්දේශපාලනික ජන  සමාජයකි.අද අපට හිතන්නට පුරුදු කර ඇත්තේ සමාජ ප්‍රශ්නවල දේශපාලන මුලයන් නොමැති  බවකි.ඒවා ඕපපාතිකව හට ගන්නා බවයි.මේ නිසා නුතන පරම්පරාව දේශපාලනය වෙනමත් සමාජ ප්‍රශ්න වෙනමත් හඳුනාගනිමින් සිටිති.තවත් කෙනෙකුට ඒවා වස්තු විෂය වන බවකුත් නොතේරේ.ඒ නිසා අතීත විප්ලවවාදී නායකයෝ අද ධනවාදී සුපෝපභෝගී ජිවිත ගත කරතී.මන්දිර තනති.තරඟයට මුදල් එකතු කරති.ධනවාදී දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරු වෙති.ඉතින් මේ වර්ණ විපර්යාසයක් නොවේනම් වෙන කවරක්ද?


මේ හේතු නිසා අපට දුෂිතයන් චෞරයන් සහ හොද මිනිස්සු පැටලී තිබේ.ඔවුන් වෙන්කර හඳුනාගැනීම දුෂ්කර වී තිබේ.දඬුවන් දෙනවා කියූ දූෂිතයෝ අද වීරයෝ බවට පත්ව තිබේ.වීරයන් හා දුෂ්ඨයෝ මාරු ජනසමාජ වලට මුහුණදීමට සිදුවනුයේ අකරතැබ්බිවලට් පමණි.මේ මොහොතේ ඇති දේශපාලනික ගන්ධබ්බ බවෙන් රට මුදවා ගත යුතුය.වෙනස යනු සියල්ලටම සාධාරණය ඉටු කරන්නක්  නොවේ.වෙනසින් පසුව රට නිවැරදි මාවතේ රැගෙන යාම බලධාරීන්ගේ යුතුකමයි.තවමත් නිවැරදිව ඉටු නොවන්නේ එයයි.ඒ නිසා තාරුණයේ අපි අවදියෙන් සිටිමු.විමසිලිවත්ව බලාසිටිමු.තරගයෙන් ඉවත්ව තරගය නරඹන විට සියල්ල වඩා හොඳින් දර්ශනය වේ.මේ දෙබඩි දේශපාලනය අපි හදුනාගත යුතු නොවේද? තව දුරටත් ඊට රැවටිය යුතුද?



සත්තකින්ම මේ දශක ගණනාව පුරා සිදු වුයේ ජනතාව රැවටීම නොවේද?තට්ටුමාරු ක්‍රමයට ඔවුහු ජනතාව රැවටීමට ලක්කළහ.ඒ වර්ණ විපර්යාස දේශපාලනයේ හැටිය.එය විවිධ මුහුණුවරින් ක්‍රියාවට නැංවෙමින් තිබේ.ඊට අවස්ථානුකූලව තව දුරටත් අපි රැවටිය යුතුද?නුතන දේශපාලන වරණ විපර්යාසයට දක්වන හේතු වඩා විහිලු සහගත වනුයේ ඒ අර්ථයෙනි.ඒ නිසා අපි නොරැවටී සිටීමේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිමු.ඔබටද ඊට ඇරයුම් කරමු.............


කමෙන්ට් එකක් දාලම යමු .

No comments:

Post a Comment