මම ඔයාට පොඩි කතාවක් කියන්නයි සුදානම් වෙන්නේ... ඔයාගෙන් මම කාරුණික ඉල්ලීමක් කරනවා... ඔයාගේ අවිවේකී ජිවිතයෙන් මිනිත්තු 10 ක් 15ක් මේ කතාවට වෙන් කරන්න බැරිනම් මේක මෙතනින් කියවන එක නවත්තන්න... පස්සේ වෙලාවක කියවන්න..
ඔයාට කාලය තියෙනවානං දැන් කතාව පටන් ගමු...
රබාන කිව්වොත් ඔයාට මට මැවෙන්නේ එකම රූපයක්... කතුර කිව්වොත් ඒත් එහෙමයි..අම්මා කිව්වොත්... ඔයාටත් මටත් මැවෙන්නේ රූප දෙකක්...මේ වචන තුනේම තියෙන්නේ සිංහල හෝඩියේ අකුරු තුනක්...එත් “අම්මා” වචනේ ඔයාට දැනෙනවා වැඩියි නේද? මේ කතාව කියවන තිරය උඩට ඒ රත්තරං අම්මගේ රූපේ ඇඳගන්න මම ඔයාට ආරාධනාවක් කරනවා... ඔයාගේ අම්මා, සුදු උනත්.. කළු උනත්.. උස උනත්.. මිටි උනත්.. මහත උනත්.. කෙට්ටු උනත්...ඒ ඔයාගේ අම්මා.... තිරය උඩ ඔයා මේ දකින්නේ ඔයාගේ දැන් අම්මා නේද? කෙහෙ සුදු වෙච්ච අම්මා... මුණ ටිකක් රැළි වැටුන අම්මා...ටිකෙන් ටික ඒ මුහුණ තරුණ කරමුද?? මම දන්නවා එහෙම කරනකොට ඔයා ඉබේම පොඩි වෙනවා... ඔයාව ඇවිද්දපු අම්මා...ඔයාට කිරි සුවද දුන්නු අම්මා... ඔයාව බඩ ඇතුලේ හංගගෙන හෙමින් ඇවිද්ද අම්මා...වමනේ යන බව දැන දැන ඔයාට නේද කියල හිතලා කෑම කාපු අම්මා.... ඔව් ඔයාගේ අම්මා... ඔයාව බිහිකරන දවසේ වින්ද වේදනාව...හරියට එක පාරකට ඇගේ අස්ථි 10ක් 12ක් කැඩෙනවා වගේ කියලා මම අහල තියෙනවා...ඔයා කන්තාවක් නම් ඒ වේදනාව ගැන ආඩම්බර වෙන්න... ඔයා පිරිමි කෙනෙක් නම් ඒ වේදනාව විදින්න හිතන්නවත් එපා...මොකද වේදනාවක් විදින්න හයිය හිතක් විතරක් මදි...ඒකට ලොකු ආත්ම විශ්වාසයක් ඕන... ගෑනු හදවතක තියෙන ඒ විශ්වාසෙන් දහයෙන් පන්ගුවක්වත් පිරිමි හිතක නෑ..........ඔයාගේ තරුණ අම්මා හරි ලස්සනයි නේද?? ඇත්තටම මේ වෙලාවේ ඒ මුණ මතක් කරන මේ සින්දුව අහන්න....
සින්දුව අහුවනං ඒ වචන ටික අස්සේ මේ පපුවේ පතුලටම කිඳා බහින පද පේලි ටිකක් ඇහුනද?
“අම්මා යන සමාධියට හිදිමි සමවැදී - ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී..”
“සිව් බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ - ඔබ දුටු විට මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ.. ”
අම්මත් එක්ක ගත කරපු සුන්දරම කාලේ මතකද? ඔයත් එක්ක ඉස්කෝලේ ගියපු...සමහර විට ඔයාගේ පුංචි පොතෙන් ජිවිතේ පළමු වතාවට අකුරු කියවපු.......අහිමි වුන එයාගේ හීන පොදිය ඔයාගේ කකුල් දෙක පාමුල තියල කැමති එකක් ඇහිඳලා ගනිං කියපු අම්මා....තාත්තට කේලම් කියන අම්මා...ගුටියක් දෙකක් දීල රෑට ඇවිත් තෙල් ගාන අම්මා....දුකකට අසනීපෙකට ඔයා ළගින් හෙලවුනේ නැති අම්මා...ඔයා කාන්තාවක් නම් මල්වර උන දා පටන් හැමදාම ඔයාව පරිස්සං කරපු අම්මා... ඔයා පිරිමි කෙනෙක් නම් ලොකු මහත් වෙන ඔයාගෙන් පරිස්සම හොයපු අම්මා....සමහර විට දරුවන්ගේ පපුව අස්සේ හුරතල් වුන අම්මා....අලුත් කාලේ උනත් ඒ හුරතල් අම්මා ඉන්නවා මේ සිංදුවේ... අහලම බලන්න....
“තාමත් අත අල්ලලා...පාරෙත් හුරතල් වෙලා...ඈටත් මුළු ජීවිතේම මං වෙලා....”
අන්තිම වචන දැනෙනවා ගොඩක් හිතට...නිකමට හිතල බලන්න ඔයාගේ ෆෝන් එකට එන අම්මගේ දුරකථන ඇමතුම් කීයක් විසන්ධි කරලා තියෙනවද???සමහර විට ඔයා අසම සින්දුව අහන වෙලාවක අම්මගෙන් එන ඇමතුම..ඔයා පෙම්වතිය එක්ක ඉන්නකොට එන ඇමතුම...කීයක්ද?? ඒ හැම වතාවකම ඒ රත්තරං අම්මගේ හිත කොච්චර පෑරෙනවද කියල නිකමට හිතුවද?? ඔයාගේ කට හඬ එයාට තවත් එක හඩක් නෙමෙයි... උදේ ඇහැරුණාම අහන ජය පිරිත තරම් නිදියන්න අහන මහ පිරිත තරං කියලා හිතාගෙන ඔයාට කතා කරන්නේ...එත් මුකුත් නොකිය විසන්ධි කලහම... මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා..එහෙම කරන්න එපා ආයෙත්...ඔය කටහඩින් කියන්න “අම්මා..මම පොඩ්ඩකින් ආයේ කතා කරන්නං ” කියල..අම්මා කියයි. “හදිස්සියක් නෑ පුතේ...පරිස්සමින් ඉන්න..” කියලා... ඒ ආදරෙන් පන්ගුවක්වත් දෙන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැති තරම්.... දිවුල්ගනේ මහත්තයාගේ ලස්සනම සිංදුව මේ කතාවට හරියටම හරි....
මේ පද ටික පපුව ඇතුලේ තාමත් හොල්මන් කරනවා ඇති මේ සිංදුව ඔයා අහුවනං....
“මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ.....”
“බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා..”
“ඇත් රැජිණියනේ ඔබේ නැළවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා...”
මේ වෙද්දී ඔයාගේ අම්මා ඔයාලව අත හැරලා ඈත පේන තාරුකා අස්සේ හැංගිලා ගිහිල්ලනං... මම ඔයාට පුංචි ආරාධනාවක් කරනවා... ඒ රත්තරන් අම්මගේ පින්තූරේ... බුදු පිළිමේ ලගින් තියන්න.. ජේසුස් වහන්සේ ලගින් තියන්න... තුන් මාසයක් තව්තිසාවේ තමන්ගේ අම්මාට බණ කියපු බුදු හාමුදුරුවෝ...මරියතුමියට අප්රමාණව ආදරය කරපු ජේසුස් වහන්සේ අමනාප වෙන එකක් නෑ... ඔයාගේ අම්ම උන්වහන්සේ සමතැන් කළා කියලා... ඒ අම්මගේ ආදරේ ඒ තරම් වටිනවා... පහන තියලා ප්රාර්ථනාවක් කරන්න..මතු භවේ පිරිමි ආත්මයක් ලබන්න... මොකද දන්නවද?? ගැහැණු කෙනෙක් බුදු වෙනවා කියල අපි අහල නැති නිසා...ඒ අම්මා බුදු වෙන්න ප්රාර්ථනාවක් කරන්න.. නන්ද මාලනියගේ මේ සිංදුව ඇහැ පියාගෙන අහන්න...එක වතාවක් ඒ අම්මව හිතේ මවාගෙන...
“දරුවන්ගේ දුක් කඳුළු දකින දා ..සුරලොව සිට අත පා...ඒ කඳුලැලි පිසිනා...”
“අම්මාවරු නැති දරුවන්ගේ...සංකා දුක් කවුදෝ දන්නේ..ඒ දුක දන්නා අම්මාවරුමයි..යම් මතු දිනයක බුදුවන්නේ... ”
ගමේ හැදිලා කොළඹ ඇවිත් රන් කාසි හොයන ඔයාගෙන් මම එක ඉල්ලීමක් කරනවා....ඒ රත්තරං අම්මව මඟ හැරෙන්න දෙන්න එපා ජීවිතෙන්... ඒ අම්මගේ ආදරෙන් ඔයාව...ඔයාගේ බිරිදව..සැමියාව...දරුවන්ව...වෙන් කරගන්න එපා.. දීපිකා මහත්මියගේ මේ ගීතය අහල ඉන්න..කතාවේ ඉතුරු ටිකට යන්න කලින්...
“ඉණි වට ළඟ බලා හිදී අපි එනතුරු අම්මා...”
“සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා - අම්මාවරුන් දුක් වින්දා හඬලා..”
“දරුවන් අනේ රජ වෙනතුරු මග බැලුවා - දුක් සැප බලන්නට නාවත් සෙත් පැතුවා... ”
මම ඔබට යෝජනාවක් කරනවා... මෙදා පාර අලුත් අවුරුද්දට ගමේ යමු... චීත්ත රෙද්ද අරං පුරුද්දට වගේ අවුරුද්ද ගෙවිලා ගියාට පස්සේ නෙමෙයි.... නොනගතේ ලබන්න කලියෙන්ම... මෙදාපාර ඔයාගේ පැටවුන්ට නැකතට කන්න දෙන්න එයාලගේ ආත්තම්මාගේ අතින් හදපු කිරිබත් කෑල්ලක්...ඔයාට දරුවෝ නැත්තං..අම්මලට කියන්න මෙදා අවුරුද්දට කන්න ඕන කියලා ආත්තම්මාගේ අතින් හදපු කිරිබත් කෑල්ලක් කියල...මෙදා අවුරුද්දේ කතා කරන්න සහෝදරයෝ ඔක්කොටම..අම්මා ඉන්න තැනට...මැරුණම ගෙනියන්නේ නැති ඉඩම් කඩම් හින්ද මරා ගත්තා ඇති...ඔක්කොටම එන්න කියන්න...ඒ රත්තරං අම්මට තමන්ගේ දරුවෝ මුණුපුරෝ රොත්තම වට කරගෙන කිරිබත් කන්න ජීවිතේ අවස්ථාව සලසල දෙන්න...ඊලග අවුරුද්දේ ඔයා පරක්කු වැඩි උනොත්??? මොකද දන්නවද එක දවසකටවත් අම්මව මග හැරුණොත් ආයේ ඒ දුක කවදාවත් ඔයාට වාවගන්න බැරිවෙයි.....
මැනලා කිරිදුන්නේ නැති ඒ රත්තරං අම්මට අසීමිතව ආදරය කරන්න... වික්ටර් මත්තයගේ මේ නැලිවිලි ගීයෙන් මේ කතාව මට අවසන් කරන්න ඉඩ දෙන්න
හැමදාමත් අම්මට ආදරෙන් ඉන්න..සදා ජය!!!
දස මාසේ වුරේ කත්වා
පෝසේසි වුද්ධි කාරණං
ආයු දීඝං වස්සසතං
මාතු පාදං නමාමහං..
No comments:
Post a Comment