මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයා වගේම මහන්සි වෙලා ජීවිතේ ගොඩගන්න දහදිය කඳුළු හලන කෙල්ලෝ කොල්ලෝ ටිකක් ගැන කියන්න හදන්නේ. මාතෘකාව දැක්ක ගමන් දැනගන්න ඇති!! ඔයාගේ අවිවේකී ජිවිතයෙන් මිනිත්තු 10 ක් 15ක් මේ කතාවට වෙන් කරන්න බැරිනම් මේක මෙතනින් කියවන එක නවත්තන්න... පස්සේ වෙලාවක කියවන්න..
උපන්න දා ඉදන් අපි ඇදුම් අන්දා..ඕන උනේ විලි වහගන්න... උපන්දා ඉදන්ම ජිවිතේ හැම තැනදීම.. බඩ ඇතුළේ හංගගෙන දස මාසෙකට පස්සේ බිහි කරපු දෝණි පපුව උඩින් තිබ්බම කිරි උරන හැටි බලන සන්නාලිය...ලොකු වෙන දෝණි ඇස් දෙක වගේ බලාගෙන දීග යන හැටි උපේක්ෂාවෙන් බලා ඉන්න සන්නාලිය... තමන්ටත් කලින් හතර රියනේ උරුමය ගන්න හදිස්සි උන දෝණිගේ පපුව උඩ මල්වඩමක් තෙරපෙන හැටි කඳුළු අතරින් බලන සන්නාලිය.. ඉපදීම, නික්මන නිවන කියන මේ ලෝක ධර්මතාව අපිට අවබෝධ කරන්න සන්නාලියක් තෝරගත්තේ ඇයිද මන්දා... පපුව ඇතුලට වැදිලා ආයේ එලියට නොඑන්නම නිධන්ගත වෙන පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ මට ඇහෙනවා වගේ...අහන්න උවමනාව තිබ්බත් මග හැරුණු ඒ ගීතයටඅපි විනාඩි කීපයක් වෙන් කරමු.. කතාව පටන් ගමු ඊට පස්සෙම... මේ සන්නාලියනේ.....
අද ඔයා බොහොම හැඩ වැඩ දාල ඇඳපු විල්ලුද ඇඳුම උඩ උල් ඉඳිකටු වලින් නූල් ඇමිණුවේ ඒ සන්නාලිය!!! හැබැයි සමහරුන්ට ගාමන්ට් කෙල්ලෝ..පාදඩ උන්ට ගාමන්ට් කෑලි..78 න් පස්සේ හොද නරක දෙකටම කට අරුණු ලංකාවේ ආර්ථිකයට එකතු උන වෙළද කලාප ඇතුළේ හිර උන අහිංසක හිත් ගැන අද කතා කරන්න හිතුනා.... මේ රටේ ආර්ථිකේ ඇතුලේ මේ හිරිවැටුණු ඇඟිලි තුඩු කරන වික්‍රමෙන් එන කාසි වලට ලොකු තැනක් ලැබුණත් ඔයාගේ මගේ හිත් වල මේ ළමයි ගැන තියෙන්නේ අවලංගු කාසියකට තියෙන සැලකිල්ලක් නෙමෙයිද??? මොකක්ද ප්‍රශ්නේ... ඒ අහිංසක ළමයින්ට අපේ හිතට එන්න තරමට වාසනාවක් නැද්ද? නැත්තන් උන් ආදරෙන් වැළදගන්න තරං අපේ හිත් ලොකු නැද්ද??? පළල් නැද්ද??? ඔයා කොල්ලෙක්නම් ගාමන්ට් ළමයෙක්ව කසාද බදින්න කලින් දෙපාරක් හිතන්න කියලා ඔයාට කියලා දුන්නේ කවුද??? ඒ ආදරණිය හිත් වලට ආදරේ අහිමිද??? ඔයා කෙල්ලෙක්නම් රතු කරපු තොල් වල උල් කරපු සපත්තු වල ඔයා පරිස්සම් කරන සමාජ තත්වෙට රබර් සෙරප්පු දාන මල් ගවුම් අදින කෙල්ලක් එක්ක කතා කරන එක මදි කමක් උනේ ඇයි??? ඒ ජිවිත වලට උරුම පැය 10 සේවා මුරේ, ඉඳිකටු, නූල්, අයන්, බොයිලේරු, පොලි බෑග්, හැගර්ස් විතරද??? ඒ අහිංසක හිත් වලට එබෙන්න කලින් මේ ගීතය අහල ඉන්න....
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට..........
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ...........
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ.................
මේ වචන මගේ හිතේ හොල්මන් කරනවා... අපි උන්ගේ සමනළ හිත් වලට අහිංසක හීන වලට එබිකම් කළොත් ඒ ජිවිත විඳින දුක් වලින් සීයෙන් එකක්වත් අපි විදින්නේ නෑ.. ඒ අකලට පැහුණු හිත් වල තියෙන හයියෙන් දශමයක්වත් අපේ හිත් වල නෑ... බියගම කොග්ගල කටුනායක විතරක් නෙමෙයි පුංචි පුංචි තැන් වල වැඩට එන්නේ ගොඩක් වෙලාවට ගමේ හුලගින් හුස්ම ගත්තු ගමේ ඇලෙන් වතුර බීපු ළමයි... රට ජාතිය බේරගන්න තමන්ගේ අත පයට අන්තිම කැමැත්ත ලියලා එලියට බහින රත්තරං සොල්දාදුවෝ වගේම ඔත්පල වෙච්ච තාත්තා වාරු නැති අම්මා රැකගන්න තමන්ගේ ආත්ම ගෞරවයට දොර ගාව තියලා මේ සමනලියෝ ගෙදරින් එලියට බහිනවා... පලවෙනි පාර තෑගි බෝග එල්ලගෙන ගෙදර එනකොට අවට උන් දොරවල් වහගන්නවනන්, දුවම ගෙනත් දුන්න චීත්ත රෙද්ද පපුවට හිර කරන් තමන්ගෙම දුවගේ බඩ දිහා බලනවනං...ඒ අහිංසක ළමයි කොච්චර ලොකු කරුමයක් කරලා ඇත්ද?? ඇත්තටම වැරැද්ද කලේ පවුල බලාගන්න පැය ගණන් ජුකිය කරකවන ළමයිද?? නැත්තං පුර්ව නිගමන වල ඉදං පුරුදු මිනුම් දඩු වලින් මිනිස්සුන්ගේ ආත්ම වල දිග පළල මනින අපිද??? මේ සිංදුව අහල බලන්න.......
නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද
කෝල කොමළ නංගියේ නුඹ අතට ගත්ත මහබර කන්ද
අදහන්නට පුලුවන්ද ....
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෑනෙන් කොහොම මේ පද ලියවුණත් ඒ පද කොච්චර හිතට දැනෙනවද???
දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...
මේ වචන අස්සේ හංගපු අර්ථය දිගහරින්නම හිතුණා සිංදුව ඇහුවට පස්සේ.. පුස් බැඳුනු ඉර හඳ වෙන කවුද වාරු නැති අම්මා තාත්තා මිසක.. ඉස්කෝලේ යවාගන්න විදියක් නැතුව අකුරු නොදන්නා සහෝදරයෝ...උයා පිහා ගන්න බැරි තරමට ගෙදර තත්වේ දරුණු වෙද්දී උගත් යැයි හිතා ගත් අමනුස්ස සමාජෙන් වෙඩි කන්න වෙන බව දැන දැනම ආත්ම ගෞරවේ ඔට්ටුවට තියලා ඉස්සරහට අඩිය තියපු සන්නාලියේ... උබ තරම් කවියක් කොහෙද තව....
දයාබර ඔබෙන් මං ඉල්ලීමක් කරනවා... ඒ හිත් අපේ හිත් වගේමයි..අහිංසකයි... ඒ හීන අපේ හීන වගේමයි...ලස්සනයි... රෙදි ඉදිකටු අස්සේ දියාරු වෙන ඒ අහිංසක හීන වලට අපේ ජිවිත පතොරමෙන් ඇදුම් කපලා අන්දන්න එපා.. අවස්ථාවක් ලැබුණොත් ඒ හිත් අස්සට එබෙන්න.. උන් රෑට කෑවද බිව්වද අදින්න ඇදුමක් තියනවද?? ලෝකෙන් මුවා වෙලා හවසට නාන්න ආවරණයක් තියෙනවද කියල අපිට හොයන්න බැරිනං උන් ගැන පුර්ව නිගමන වලට යන්න එපා.. වැඩි දෙනක් දුප්පත් උනත් නූගත් උනත් ඒ ළමයින්ටත් ආත්ම ගෞරවයක් තියෙනවා.... ඒ අයිතිය නැති කරන්න එපා!!!
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...
වික්ටර් මාස්ටර්ගේ මේ ලස්සන සිංදුවෙන් අපි කතාව ඉවර කරනවා!!!
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ...
No comments:
Post a Comment