Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 16, 2015

හදවත පාමුල




ඔබ ඔබේ හදවත ළඟ නිහඬව නැවතී සවන් දෙන්න.ඔබ ඔබ දෙසම බලා සිටින්න.මක්නිසාදයත් තමා විසින්ම තමා දැකීම යනු වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අපුර්ව අත්දැකීමකි.ඉන් පුළුල් ජිවිතාවබෝධයක් ලැබෙනවා මෙන්ම සන්සුන් හැඟීමකින් සිත පහන් වේ.නිසල දිය තුළින් දක්නා ගැඹුරු විලක පත්ල මෙන් එවිට අප දෑස මානයේ යථාර්තය විද්‍යාමාන වේ.මිනිසුන්,එනෙම් අප අනවරතව හා අනවබෝධීව හැල්මේ දුවමු.ජිවිතයේ ආරුත හෝ තම ගමනේ අරමුණ නිරවුල්ව අවබෝධයට නොගෙන ලෝකයේ සෑම මිනිසෙක්ම එසේ කරන නිසාවෙන් අපද දුවන්නන්වාලේ දුවමු.සැබවින්ම,අර්ථයක් හෝ ජීවයක් නොමැති ඒකාකාරී යාන්ත්‍රික ජීවන ක්‍රමයක් තුල අප මංමුලාවී සිටින්නෙමු.


වර්ථමාන මිනිසා තමා පිළිබඳව මෙන්ම තමා කරන කියන දේ පිළිබඳව ද  සිතීමට හෝ අවබෝධකර ගැනීමට ඉඩක් හෝ කාලයක් නොගනී.අපගේ ජීවිත වල සැබෑ අරුත,අවබෝධයෙන් සිතට එකඟව ජීවත් වීම නොවේද?නමුත් වර්තමාන මනුෂ්‍යායාගේ සිතත් ජීවිතයත් අතර පරතරයක් නිර්මාණ වී ඇත.ඒ නිසාවෙන් ඔවුන්ට හදවතින් ජීවිතය ග්‍රහණය කර ගැනීමට නොහැක.

යාන්ත්‍රික ලෝකයක යාන්ත්‍රික මිනිසුන් ලෙස එකාපසුපස එකා හඹා යාම මිස ජිවිතයේ සැබෑ අරුත විඳීම උදෙසා තම සිතට සංවේදීවීමට අවකාශයක් වර්තමාන මිනිසාට නොමැත.එනිසාවෙනි අප අපේ හදවතට සවන් දිය යුත්තේ.සැබවින්ම ජීවිතය යනු සොඳුරු නිර්මාණයකි.මා කියූ පමණින් ඔබ එය පිළිනොගන්නා බව දනිමි. නමුත් සතුට,දුක,සැනසීම,නොසන්සුන්බව,ආදරය,සිනහව පසුතැවීම කඳුළු ආදී අනේකවිධි විඳීම් විඳවීම් එක්තැන් වූ කල මැවෙන්නේ සුන්දරත්වයක් නොවේදැයි ඔබට හදවතට එකඟව කිව හැකිද?


ඒ සෑම විඳීමකටම,විඳවිමකටම ඊට අවේනික වර්ණයක් ඇත.ඒ වර්ණාවලියෙනි මිනිසාගේ ජීවන වියමන ගෙත්තම් වනුයේ.ඒ සෑම වර්ණයක්ම තහවරු කරන්නේ මිනිසාගේ පැවැත්මේ ගැඹුරු හරයන්ය.ජීවිතය අනන්ත ධර්මයකි.ඒ තුල අත්දැකීමට අසීමිත දේ ඇත.ජිවිතය අවබෝධයෙන් සන්සුන්ව ග්‍රහණය කර ගත යුතුය.

එවිට ඔබ කිසිවිටකත් ලෝකය තුල සිටින එක ක්ෂුද්‍ර මිනිසෙකු පමණක්ම නොවනු ඇත.ජිවිත දහම තුළ සමාධිගත වූ මිනිසාට සමස්ත ලෝකයම තාම පාමුල එක් අංශුවක් පමණි.ඉතින් තවත් කල් නොයවා ජීවිතය සඟවාගෙන සිතන ඒ සොඳුරු වර්ණ රටාවල අපූර්වත්වය ස්පර්ශ කර බලන්න .ඔබේ හදවත ළඟ
මොහොතකට නවතින්න.......... කමෙන්ට් එකක් දාලම යමු .

No comments:

Post a Comment